කසළ ප්‍රතිචක්‍රීකරණය, කෙතරම් වටිනවාද?

"Recycling" සංකේතය කසළ බෑග්, කසළ බඳුන්, කසළ එක්රැස් කරන ලොරි රථ වල බහුලව දක්නට ලැබෙන සංකේතයක්. "Reduce, Reuse, Recycle" කියන වචන ත්‍රිත්වය ලොව පුරා පාසල් වල පවා දැන් උගන්වන දෙයක් බවට පත්වී ඇත්තේ පිරිසිදු පරිසරයක අවශ්‍යතාවය සැම දෙනාටම ඇති නිසයි. අපි සැම දෙනාම දන්නවා "ප්‍රතිචක්‍රීකරණය" කියන්නෙ අපි සියළු දෙනාටම, වඩා හොඳ පරිසරයක් පවත්වාගෙන යාම සඳහා දායක විය හැකි, පහසුම මාර්ගයක් බව. 

නමුත්,.....
ප්‍රතිචක්‍රීකරණය හරහා අපි විසිකරන කසළ ප්‍රමාණය අඩු වනවාට වඩා වෙනත් ප්‍රතිලාභ ඇත්තෙම නැද්ද???


අපිට කසළ එකතු කරන්න, වෙන් කරන්න, වෙන් වෙන්ව ඉවත් කරන්න කාලයක් හා ශ්‍රමයක් වැය වෙනවා.
සත්‍ය වශයෙන්ම මෙය හරහා  මීට වඩා වැඩි වාසි ප්‍රමාණයක් හිමි කරගැනීමට හැකි වනවා. 



ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වාසි

පොළවට එකතු වන කසළ ප්‍රමාණය අඩු වීම

ප්‍රතිචක්‍රීකරණය කිරීමට පෙළඹවීමට ප්‍රධානම වන සාධකය වන්නේ, ඉන් පරිසරයට සිදු වන පීඩනය අවම වීමයි. ප්‍රයෝජනවත් ආකාරයට කසළ භාවිතාව හරහා, පරිසරයට එකතු වන කසළ ප්‍රමාණය අඩු කිරීමට අපිට සෙමෙන් හා ක්‍රමානුකූලව හැකියාව ලැබෙනවා. ජනගහණයේ වර්ධනයත් සමඟ, එකතු වන කසළ ප්‍රමාණයත් ඉහළ යන නිසා පරිසරයට දරා ගත හැකි කසළ ප්‍රමාණය සීමා සහිත වනවා. මෙම සීමාව පනින විට අපගේ නගර හා අලංකාර පරිසරය දූෂණයට ලක්වීම, විෂ වීම සමඟ සෞඛ්‍යමය ගැටළු ඇතිවීම පටන් ගන්නවා. 
එම නිසා ප්‍රතිචක්‍රීකරණය හරහා පරිසර දූෂණය පාලනය කිරීමටත්, පරිසරයට මුදා හැරෙන කසළ ප්‍රමාණය ටිකෙන් ටික අවම කිරීමටත් හැකියාව ලැබෙනවා. 


ස්වභාවික සම්පත් සංරක්ෂණය

ඉවතලන ලෝහ කොටස්, භාවිත කළ ප්ලාස්ටික් බෝතල්, රබර් ටයර්, ඉලෙක්ට්‍රොනික කොටස් අපි පරිසරයට එකතු කරන කසළ අතර ප්‍රධාන තැන් ගන්නවා. බොහොමයක් දෙනා සිතන්නට පුළුවන්, මේවා ඕනෑ තරම් නිෂ්පාදනය කළ හැකිය කියා. නමුත් මේවා නිෂ්පාදනයට භාවිතා කරන සම්පත් සීග්‍රයෙන් ක්ෂය වෙමින් පවතින නිසා මේවා ඇති තරම් නිෂ්පාදනය කළ හැකි නෑ. 

ප්‍රතිචක්‍රීකරණය හරහා, කසළ නැවත නැවත භාවිතයට ගැනීමට හැකියාව ලබා දීම තුළින් සම්පත් අලුතින් වැය වීම පාලනය කිරීමට, අවම කිරීමට අපිට හැකියාව ලැබෙනවා. මේ හරහා, ජලය, ඛණිජ, තෙල්, ස්වභාවික වායු, ලී වැනි ස්වභාවික සම්පත් රැසක් භාවිතය අඩු වනවා. 

මේ සමඟම ලැබෙන තවත් ප්‍රයෝජනයක් වන්නේ. ප්‍රතිචක්‍රීකරණය හරහා මෙම කසළ නැවත භාවිතයට ගත හැකි ලෙස සැකසුම් කිරීම සඳහා නව තාක්ෂණයන් දියුණු වීමත් සිදු වනවා. එම නිසා දැන් බොහොමයක් ආයතන, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ලෙස සකසන වැඩසටහන් සඳහා සහය පළ කරනවා. 

නව රැකියා අවස්ථා

කුණු වලින් කොහොමද අලුතින් රැකියා දෙන්නෙ?? බොහෝ දෙනෙක්ට හිතට එන ගැටළුවක්.
නමුත්, කසළ ප්‍රතිචක්‍රීකරණය කියන්නෙ රැකියා අවස්ථා රැසක් උදා කරන අවස්ථාවක්. ප්‍රතිචක්‍රීකරණය තම තමන්ම කරගන්න එකට අමතරව, මේ තුළ විශාල රැකී රක්ෂා ප්‍රමාණයක් තිබෙනවා. ඔබ නිවසේදේ සිදු කරන්නට සූදානම් වන මූලිකම ආකාරයේ වෙන් කිරීම සිදු කළ පසු ඒවා වඩාත් විස්තරාත්මක තේරිමකට ලක් කිරීමට, අදාල ස්ථාන වලට ප්‍රවාහනය සිදු කිරීමට, යළි විවිධ ක්‍රියාවලීන්ට භාවිතා කරන අමුද්‍රව්‍ය වෙන් කිරීමට, වෙනත් කටයුතු වලට දහස් ගණන් සේවකයින් අවශ්‍ය වනවා. 



මේ නිසා කසළ ප්‍රතිචක්‍රීකරණය හරහා සිදු වන තවත් ප්‍රධානම වාසියක් තමයි ඒ හරහා සමාජයට ලැබෙන රැකියා විශාල ප්‍රමාණය. කසළ ඉවත ලෑම හරහා රැකියා 7,8ක් ඇති වනවා නම් ඒවා ප්‍රතිචක්‍රීකරණය හරහා රැකියා 20,30ක් ඇති වනවා. 

මූල්‍යමය වාසි හිමි වීම

පරිසරය වෙනුවෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීම හරහා සමාජ සේවයක් කිරීම පමණක් නොව, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසල එකතු කර අදාල ස්ථාන / පුද්ගලයින්ට විකිණීම හරහා ඔබට යම් මුදලක් ඉපයීම පවා සිදු කළ හැකියි. 
උදා: වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල්/භාජන/උපකරණ, යකඩ කොටස්, පුවත්පත් කඩදසි, මෙසේ විකුණා මුදල් කළ හැකි කසළ වර්ගයන්. 

මුදල් ඉතිරි වීම

ප්‍රතිචක්‍රීකරණය හරහා රටේ ආර්ථිකයට විශාල මූල්‍යමය වාසියක් හිමි වනවා. ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු කරනවිට, යම් භාණ්ඩයක් අනවශ්‍ය ලෙස නිෂ්පාදනය සිදු කිරීමට අවශ්‍ය නොවීම නිසා ඒ භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැය වන සම්පත්, බල ශක්තිය ඇතුළු සියළුම පිරිවැය අඩු වීමක් සිදු වනවා. අනවශ්‍ය අමුද්‍රව්‍ය හා බලශක්තිය භාවිතය කියන්නෙ ආර්ථිකයට අලාභයක්. අනවශ්‍ය වියදමක්. ඒ කියන්නෙ, ඉතිරි කරන පොඩි හරි අමුද්‍රව්‍ය / බලශක්තිය ප්‍රමාණයක් නිසා රටට අනවශ්‍ය ලෙස අමුද්‍රව්‍ය කණින්නට, මිලට ගන්නට උවමනා වෙන්නේ නෑ. අනවශ්‍ය තරම් බලශක්තිය නිපදවන්නට අවශ්‍ය වන්නේ නෑ. 


ප්‍රතිචක්‍රීකරණය වැඩි වන විට කසළ අවම වන විට කසළ ගොඩ ගසන තැන් අඩු වීමත් එක්කම රටේ ආර්ථිකය හා පරිසර තත්වය ඉහළ යනව. ඉතිරි වන මුදල් වෙනත් ප්‍රයෝජනවත් දේකට යොදවන්නට, රටට, ආයතනයන්ට හැකියාව ලැබෙනවා.

හරිතාගාර වායු විමෝචනය අවම වීම

ඔබ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම හරහා ඔබ වෙනුවෙන් අලුතින්ම අමුද්‍රව්‍ය නිෂ්පාදනය / නිස්සාරණය කිරීම සඳහා, නව භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැය වන බල ශක්තිය සම්පූර්ණයෙන්ම ඉතිරි වනවා. ඒ හරහා ඒ වෙනුවෙන් වැය කරන්නට තිබූ ඉන්ධන ඉතිරි වනවාත් සමඟම, ඒ ඉන්ධන දහනයෙන් වායු ගෝලයට මුදා හැරෙන්නට තිබූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමුඛ සියළුම හරිතාගාර වායූන් පරිසරටය මුදා හැරීම ඔබ නවත්වා තිබෙනවා. ඒ හරහා පරිසර උෂ්ණත්වය ඉහළ යාම පාලනයට අමතරව, වායු දූෂණය, කාළගුණික විපර්යාස, ග්ලැසියර දිය වීම වැනි විවිධ අතුරු ගැටළු ඇති වීම අවම කිරීමටත් ඔබ දායක වනවා. 

කසළ වලින් 30%ක් ප්‍රතිචක්‍රීකරණය කිරීම, මාර්ග වල ඇති රථ වාහන වලින් මිලියන 30ක වාහන ප්‍රමාණයක් ඉවත් කළා හා සමාන වනවා. 

බලශක්තිය ඉතිරි වීම

ඉහත අවස්ථා වලදීත් මෙම කරුණ කියවුනා. යළිත් කිව්වොත් ඔබ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම හරහා ඔබ වෙනුවෙන් අලුතින්ම අමුද්‍රව්‍ය නිෂ්පාදනය /නිස්සාරණය කිරීම සඳහා, නව භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැය වන බල ශක්තිය සම්පූර්ණයෙන්ම ඉතිරි වනවා. 
ඇලුමිනියම් බීම කෑන් ප්‍රතිචක්‍රීකරණය හරහා ඔබ ඇලුමිනියම් කෑන් එකක් නිෂ්පාදනය කිරීමට වැය කර ඇති බල ශක්තියෙන් 95%ක ප්‍රමාණයක් ඔබ ඉතිරි කරනවා. ඒ කෙසේද යත්, ඇලුමිනියම් ලෝහය නිස්සාරණය අති විශාල බලශක්තියක් වැයවන ක්‍රියාවලියක්. ඉතින් ඇලුමිනියම් භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය කරන විට යළිත් ඇලුමිනියම් නිස්සාරණය කිරීමක් සිදු නොකළ යුතු නිසා. 

එක් වීදුරු බෝතලයක් ප්‍රතිචක්‍රීකරණය කිරීම හරහා ඔබ ඉතිරි කරන බල ශක්ති ප්‍රමාණය විදුලි පහනක් පැය 4ක් පමණ දැල්වීමට තරම් ප්‍රමාණවත්. 
මේ උදාහරණ තුළින්, ප්‍රතිචක්‍රීකරණය මහා පරිමාණයෙන් සිදු කිරීම හරහා අපට ඉතිරි කළ හැකි බලශක්ති ප්‍රමාණය අති මහත් බව ඔබට පැහැදිලි වනවා ඇති. 
ඉතින් ඔබටම පෙනෙනවා ඇති ප්‍රතිචක්‍රීකරණය හරහා අපිට ඉතිරි කරගත හැකි මුදල් ප්‍රමාණය කෙතරම්ද කියා. 

හරිත තාක්ෂණයන් භාවිතයට පෙළඹවීම

ප්‍රතිචක්‍රීකරණය කරන ලද භාණ්ඩ භාවිතයත් සමඟ ජනයා වඩාත් හරිත, පරිසර හිතකාමී තාක්ෂණයන් භාවිතයටත් යොමු වනවා. සූර්ය ශක්තිය, සුළං බලය වැනි පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිතයටද, ජනයා දැන් ක්‍රමිකව පෙළඹෙනවා. ඒ හරහා පරිසර දූෂණය අවම වීමටද කටයුතු සිදු වනවා. 

විවිධ කණ්ඩායම් හා ප්‍රජාවන් එකට එකතු වීම

සියළු දේ අවසානයේ ප්‍රතිචක්‍රීකරණය හරහා විවිධ කණ්ඩයම් එකිනෙකා සමඟ එකතු වී ක්‍රියා කිරීම හරහා පරිසරයට මහඟු සේවයක් සිදු කර තිබෙනවා. පාරේ තිබෙන කසළ අහුලා කසළ බඳුනට දැමීමේ සිට, කසළ එකතු කර ප්‍රතිචක්‍රීකරණය සඳහා විකිණීම දක්වා විවිධාකාරයේ කණ්ඩායම්, ප්‍රජාවන් ඊට සම්බන්ධ වනවා. 

ප්‍රතිචක්‍රීකරණය හරහා ඇති වන වාසි ඉලක්ක කොටගෙන විවිධාකාරයේ කුඩා වැඩසටහන් ඇති කළ හැකියි. විවිධ රටවල, මෙවන් සාමූහික ප්‍රයත්නයන් හරහා මනා කසළ කළමණාකරණ පද්ධතියක් පවත්වාගෙන යාම තුළින්, තම නගරය පිරිසිදුව හා සතුටින් තබා ගැනීමට, බොහොමයක් දෙනාට හැකියාව ලැබී තිබෙනවා. මෙය අප ළමුන්ටද ඉගැන්විය යුතු හොඳ පුරුද්දක්ද වනවා. 

ජෛව විවිධත්වය අඩු වීම වැළකීම

ප්‍රතිචක්‍රීකරණය යන්නෙහි වටිනාකම වන්නේ අපට අවශ්‍ය වන අමුද්‍රව්‍ය ප්‍රමාණය ක්‍රමිකව අවම වීමයි. ඒ හරහා සිදුවන අමුද්‍රව්‍ය කැනීම, නිස්සාරණය, නිෂ්පාදනය අවම වීම හරහා ඉන් පරිසරයට සිදුවන හානියද අවම වනවා. දැව නිෂ්පාදනයට අවශ්‍ය ගස් කැපීම, ඛනිජ කැණීමේදී සිදුවන පාංශු හානිය, පස/වායු/ජල දූෂණය වැනි පාරිසරික හානි අවම වීම හරහා ඒ සම්බන්ධ පරිසර පද්ධතීන්ට සිදු වන්නට තිබෙන හානිය අවම වීම හරහා ඒ අවට ඇති ජෛව විවිධත්වයටද සිදු වන හානිය අඩු වනවා. ආවේණීක ශාක හා සතුන් ආරක්ෂා වනවා. 

මේ කාලයේ සිදු කෙරෙන වන විනාශය මේ නිසා සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වනවා ඇති. 

ප්‍රතිචක්‍රීකරණය හරහා ලැබෙන වාසි ඉතාම සරළයි. නමුත් සමස්ථයක් වශයෙන් හා මහා පරිමාණයෙන් ගත් විට එය අති විශාලයි. එම නිසාම, කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම, බොහොමයක් රටවල් වල රා‍ජ්‍ය මට්ටමෙන්ම අනුග්‍රහය දක්වමින්, රටේ ජනයාගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට ක්‍රියා කරනවා. 


ඔබත් කසළ ප්‍රතිචක්‍රීකරණය ඔබේ නිවසෙන්ම අරඹන්න.
නිවසෙන් පිටතට ඉවත් කරන කසළ හැකි තරම් අවම කරන්න. 
පරිසරය සුරැකීමට දායක වන්න.

Previous
Next Post »