මොනවද මේ විද්‍යුත් අපද්‍රව්‍ය (Electronic Waste)



ඉහත ඡායාරූපය දැක්කම ඔබට තේරෙනව ඇති මොනව ගැනද මේ කතා කරන්නට සූදානම් වෙන්නෙ කියල.

විද්‍යුත් අපද්‍රව්‍ය, නැත්තම් Electronic Waste කියන්නෙ අපි භාවිතා කරන විද්‍යුත් උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ හා කොටස් භාවිතා කාලය අවසන් වූ විට කසල වශයෙන් අපි ඉවත දමන ඒවායි. 

එතකොට කොහොමද මේ ඊ වේස්ට් කරළියට එන්නෙ?
අපි කෙතරම් විදුලි උපකරණ ප්‍රමාණයක් භාවිතා කරනවද නිවසක හෝ ආයතනයක. නිකමට වට පිට බලන්න ඔබ දැන් වාඩි වෙලා ඉන්න ස්ථානය වටේට. ඔබ මේ ලිපිය කියවන පරිගණකය, මූසිකය, ප්‍රින්ටරය, ඔබගේ ජංගම දුරකථනය, එහි චාජරය, රේඩියෝවක්, ඔරලෝසුවක්, විදුලි ලාම්පුවක්, .......
නිවසක කෙතරම් විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ තිබෙනවාද? රූපවාහිනිය, ගුවන් විදුලිය, බත් පිසිනය, ශීතකරණය, දුරකථනය, රෙදි සෝදන යන්ත්‍රය, විදුලි උඳුන, විදුලි ලාම්පු, ස්ත්‍රික්කය..... වගේ ගොඩක් දේවල්.

පහු ගිය කාලෙ සැළකුවාම ලංකාව තුළ භාවිතා වන විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වල ප්‍රමාණය ඉතා ඉහළ ගොස් තිබෙනව. ඊටත් වඩා තිබෙන අනතුරුදායක තත්වය, ඒවායේ ආයු කාලය ඉතා සීග්‍රයෙන් පහළ ගොස් තිබෙනව. දැන් ඉතා අඩු මිලට එන හුඟක් විදුලි උපකරණ වල ආයු කාලය ඉතාමත් අඩුයි කියන එක ඔබත් අත්දැකල ඇති කියල මම හිතනවා.

මොකද එතකොට වෙන්නෙ?? 
කැඩෙන කැඩෙන ප්‍රමාණයට තව තවත් අලුතින් භාණ්ඩ මිලට ගැනීමට හා භාවිත කිරීමට සිදු වෙනවා. ඉන් ඉලෙක්ට්‍රොනික කසළ ඔබ නිවසේ ටික එකතු වෙනවා.

ඉතින් මේ යන්ත්‍ර කැඩුනම / භාවිතා කරන්න බැරි තත්වයට පත් උනාම ඔබ කුමක්ද කරන්නෙ?
කෙනෙක් මේව අලුත්වැඩියා කරල තවත් ටික කාලයක් භාවිත කරන්නට ඉඩ තිබෙනවා. 
නමුත් බොහෝ දෙනා ඒක කරන්නෙ නෑ.
අලුත්වැඩියා කරලත් භාවිතා කරල අලුත්වැඩියා කරන්නත් බැරි උනාම????

ඔබ බොහෝ දෙනෙක් මිල අඩු දෙයක් නම් අහකට විසි කරල අලුතින් එකක් ගන්නව නේද?
මිල අධික දෙයක් නම් අලුත්වැඩියා කරගන්නව. (ඒව උනත් විසි කරල අලුති ගන්න අය ඕනෙ තරම් ලංකාවෙත් ඉන්නව.)

එතකොට පරණ ඒවට ඔබ මොනවද කරන්නෙ???
සරළව හා බහුලව සිදු වන දේ තමයි කුණු ගොඩට ඒව විසි කරල දාන එක. එක්කො ගෙදර කුණු ගොඩට. එක්කො නගර සභාවෙන් කුණු එකතු කරන්න එන ලොරියට.
සමහරවිට ඔබ ඒව ගිනි තියනව, සමහරවිට එහෙමම කුණු ගොඩවල් වල එකතු වෙනව.
පොඩි ප්‍රමාණයක් නම් යකඩ බඩු, ප්ලාස්ටික් බඩු එකතු කරන මිනිස්සුන්ට දෙනව වෙන්නත් පුළුවන්.

ඔබ ඉවතට විසි කරන, ගිනි තියන මේ භාණ්ඩ වල තිබෙන අනතුරුදායක තත්වය මොකද්ද එතකොට?
මේ භාණ්ඩ සකසල තිබෙන්නෙ විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරල. සාමාන්‍ය ලෝහ වර්ග, බැර ලෝහ වර්ග, ක්ෂාර ලෝහ වර්ග, සාමාන්‍ය හයිඩ්‍රොකාබන, විශ සහිත හයිඩ්‍රොකාබන (ප්ලාස්ටික්) වගේ විවිධාකාරයේ අමුද්‍රව්‍ය වලින්.
මේවායේ රසදිය, ඊයම්, කැඩ්මියම්, ඇන්ටිමනි, ආසනික්, බෙරලියම් වගේ විවිධ විශ සහිත ලෝහවර්ග හා බ්‍රෝමිනීකෘත රසායනික, හැලජන, ප්ලාස්ටික් වර්ග තිබෙනවා.

ඉතින් මේව නිසා මොකද්ද වෙන්නෙ?
මේ සමහර රසායනික, කුඩා ප්‍රමාණයකින් හෝ පරිසරයකට එකතු වීම ඉතාම අනතුරුදායක වන්නට පුළුවන්. වාතය, ජලය, පස දූෂණය වීම හරහා, ශාක, සතුන්, මිනිසා කියන හැම ජීවියෙකුටම හානිදායක වෙන්නට පුළුවන්.

ඔබ විසි කරන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් පරිසරයට එකතු වන විශ රසායනික මොනවාද, ඒවා නිසා විය හැකි හානි මොනවාද කියල අපි බලමු.

බ්‍රෝමිනීකෘත රසායනික (ගිනි ප්‍රතිරෝධක)
ගිනි නොගන්නා ප්ලාස්ටික භාණ්ඩ නිපදවීමේදී මේවා භාවිත වෙනව. මේවා ශරීරයට එකතු වුවහොත් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයට භාධා පැමිණිය හැකි අතර කුඩා ලමුන්ගේ තයිරොයිඩ ග්‍රන්ථිය හා ස්නායු පද්ධතියට බලපෑ හැකි වනවා.

ලෙඩ් (ඊයම්)
සෑම ඉලෙක්ට්‍රොනික භාණ්ඩයකම වගේ තිබෙන අධික විශ සහිත ලෝහයක්. පරිපථ පෑස්සීම සඳහා බහුලව භාවිතා වන ඊයම් වලට නිරාවරණය වීමෙන්, ආහාර අරුචිය, මස් පිඬු වේදනාව, ව්‍යාධිය, හිස රුදාව, වගේ රෝගත්, දිගු කාලීන නිරාවරණය හරහා ස්නායු පද්ධතිය අඩපණ වීමත්, විශාල වශයෙන් නිරාවරණයෙන්, මොළය අඩපණ වීම හා මරණය වුවත් සිදුවිය හැකියි. නැවත ආරෝපණය කළ හැකි ලෙඩ්-කැඩ්මියම් බැටරි වලත් ඊයම් බහුලව තිබෙනවා.

රසදිය
පැරණි රූපවාහිනී යන්ත්‍ර, ප්‍රතිදීපන පහන්, බැටරි වගේ විදුලි උපකරණ වල පමණක්ම නොවෙයි, ඔබ උණ බලන්න ගන්න උණ කටුවේ පවා තිබෙන ඉතාම විශ සහිත ලෝහයක්.
කෙටි කාලීන නිරාවරණයෙන් පෙනහළු ආබාධ, ඔක්කාරය, වමනය, සෙම් රෝග, රුධිර පීඩනය, අතීසාරය, සම් රෝග, අක්ෂි ආබාධ වගේ රෝගත්, දිගු කාලීන නිරාවරණය හරහා මොළය, වකුගඩු, කළල වලට බරපතල හානි සිදුවිය හැකියි.
අමතර කරුණක්, රසදිය වාෂ්පය ඉතාම මාරාන්තිකයි. කිසිම අවස්ථාවක රසදිය රත් වෙන්නට ඉඩ තබන්න එපා. රසදිය බිඳුවකක් ජලයට මුසු වුවහොත් ඊට ජලය ලීටර් 1000ක් පමණ දූෂණය කළ හැකියි.

ආසනික්
ඉලෙක්ට්‍රොනික උපකරණ පැත්තකින් තිබ්බොත්, පහුගිය කාලෙ ලංකාවෙ කතා බහට ලක්වූ විශ ලෝහයක්. ඒ නිසා මින් විය හැකි සංකූලතා ගැන ඔබ යම් තරමකට දැන සිටිය යුතුයි.
පරිගණක චිප, ආලෝක විමෝචක දියෝඩ (කවුරුත් දන්න LED Lights) වල අඩංගු පළිකාකාරක ලෝහයක් තමයි ආසනික් කියන්නෙ. සමේ හා පෙණහළු ආශ්‍රිත පිළිකා රෝග වලට ආසනික් හේතුකාරක වනවා.

කැඩ්මියම්
මළ බැඳිම වැළක්වීමට, පරිගණක කොටස්, පරිපථ කොටස්, ස්විච වල ආලේප කරන කැඩ්මියම්, ලෙඩ්-කැඩ්මියම් බැටරි වලද අඩංගු වෙනවා.
පෙනහළු ආබාධ හා මරණය කියන්නෙ කැඩ්මියම් අධික ලෙස ශරීරගත වුවහොත් සිදුවන තත්වය. දීර්ඝකාලීනව කැඩ්මියම් වලට නිරාවරණය වීමෙන්, වකුගඩු ආබාධ හා අධික රුධිර පීඩනය ඇති විය හැකියි.

ක්‍රෝමියම්
කැඩ්මියම් වගේම ලෝහ ආලේපනයක් විදිහටත් භාවිතා කරන ක්‍රෝමියම්, ප්ලාස්ටික් ශක්තිමත් කිරීමට වගේම, තීන්ත නිෂ්පාදනයේදීත් භාවිතා වන ලෝහ රසායනිකයක්.
මිනිස් සිරුරට ඇතුළු වන ආකාරය අනුව මෙහි බලපෑම වෙනස් වනවා. ආශ්වාස කිරීමෙන් පිළිකා ඇති කිරීමේ අවදානමක් ඇති කරන ක්‍රෝමියම්, DNA අණු වලට හානි ඇති කිරීමට තරම් බලවත්.

හැලජන
හැලජන ලෙස අපි හඳුන්වන්නේ ෆ්ලුවොරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන් වගේ මූලද්‍රව්‍යයන්.
ප්ලාස්ටික් කර්මාන්තයේදී බහුලව භාවිතා වන හැලජන, දහනය කිරීම ඉතාමත් අනතුරුදායකයි. මේවා දහනයේදී පිටවන ඩයොක්සීන් හා ෆියුරාන් වගේ විෂ වායූන් ශරීරයට ඇතුළු වීම ඉතාමත් අනතුරුදායකයි.
ඩයොක්සීන් ශරීරගත වීම හරහා ස්නායු පද්ධතියට, ප්‍රතිශක්තිකරණ පද්ධතියට, තයිරොයිඩ ග්‍රන්ථියට, බලපෑම් ඇතිවිය හැකි අතර, ඉන්, එන්ඩොමෙට්‍රියෝසිස්, දියවැඩියාව, දන්ත රෝග වගේ රෝගාබාධ ඇති විය හැකි වනවා.

PVC (Poly Vinyl Chloride)
ඔබ හැම දෙනාම වගේ දන්න PVC ජල නලත් මේ කාණ්ඩයටම තමා ඇතුළු වන්නේ. විදුලි රැහැන් වල පරිවාරකය වශයෙනුත් භාවිතා වන PVC දහනයෙන් අධික විෂ සහිත ඩයොක්සීන් වර්ග නිදහස් වෙනවා. ඉහත කිව්ව ඩයොක්සීන් වලින් වන හානි වලට අමතරව ශරීරයේ හෝමෝන වලට අධික බලපෑම් කිරීමේ හැකියාවක් මෙම ඩයොක්සීන් වලට තිබෙනවා.

ප්ලාස්ටික් වර්ග ගිනි තැබීමෙන් බරපතල වායු දූෂණයක් සිදුවන බව ඔබට තේරෙනවා ඇති. ඒත් එක්කම ඒ වායු බරපතල සෞඛ්‍ය අවදානම් ඇති කරනවා.

ඉතින් ඔබට දැන් පැහැදිලි වනවා ඇති මේ විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයන් අක්‍රමවත් ලෙස පරිසරයට මුදා හැරීම හරහා පරිසරයට හා ජීවීන්ට කොයි ආකාරයක හානි සිදුවිය හැකිද යන්න. එය ඉතා විශාල හා ගණනය කල නොහැකි හානියක් බව ඔබට පෙනෙනවා ඇති. 
ඔබම සිතා බලන්න ඔබ කෙතරම් ඉලෙක්ට්‍රොනික කසල ප්‍රමාණයක් වසරකට, අනාරක්ෂිත ආකාරයට පරිසරයට මුදා හරිනවාද කියල. ඒවා හරහා කෙතරම් විශාල ජල දූෂණයක්, වායු දූෂණයක්, පස දූෂණයක් සිදු වනවාද කියල. 

එම නිසා, අප සැමගේම සුව සෞඛ්‍යය පමණක්ම නොව, අනාගත පරපුර වලට සිදු වන සෞඛ්‍යමය හා පාරිසරිකමය හානිය අවම කිරීමට, මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමණාකරණය සිදු කිරීම අප සැමගේම වගකීමක් වනවා. 

අපිට මේ වෙනුවෙන් සිදු කළ හැක්කේ මොනවාද?

නැවත භාවිතය
මුද්‍රණ යන්ත්‍ර වලට යොදන තීන්ත කාට්‍රිජ ඉවත නොදමා නැවත නැවත පුරවා භාවිතා කිරීම, නැවත ආරෝපණය කළ හැකි බැටරි ඉවත නොදමා නැවත ආරෝපණය කර භාවිතා කිරීම, අලුත්වැඩියා කර භාවිතා කළ හැකි උපකරණ ඉවත නොදමා අලුත්වැඩියා කර භාවිතා කිරීම වගේ දේවල් හරහා නැවත භාවිතා කළ හැකි උපකරණ ඉවත නොදමා නැවත නැවත භාවිතයෙන් අනවශ්‍ය කසළ ඇතිවීම වළකිනවා.

පරිත්‍යාග කිරීම
ඔබ භාවිතා නොකරන නමුත් ක්‍රියාකාරී තත්වයේ ඇති විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ඒවා අවශ්‍ය වන පුද්ගලයෙකුට, ආයතනයකට, පරිත්‍යාග කරන්නට ඔබට පුළුවන් එවිට ඒවා කුණු ගොඩට එකතු වෙන්නෙ නැතිව තව කාලයක් භාවිතයේම පවතිනවා.

නැවත භාර දීම
සමහර විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සමාගම්, නොමිලේ හෝ, මිලක් ගෙවා හෝ, මිලක් ලබා දී, ඔබගේ පැරණි, භාවිතා කළ හැකි / නොහැකි විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ යළි භාර ගන්නවා. ඔබ භාවිතා නොකරන උපකරණ, කැඩුණු උපකරණ ඔවුනට භාර දීමට ඔබට හැකියි. ඔවුන් ඒවා ප්‍රතිචක්‍රීකරණය සිදු කරනවා. රූපවාහිනී, ගුවන්විදුලි යන්ත්‍ර, කැමරා, දුරකතන වගේ ඉලෙක්ට්‍රොනික උපකරණත්, භාවිතයට ගත නොහැකි ප්‍රතිදීපන පහන්, CFL බල්බත් විවිධ ආයතන මගින් යළි එකතු කරනවා. (උදා: Singer ආයතනයෙන් නව රූපවාහිනියක් මිලට ගැනීමේදී පැරණි රූපවාහිනිය සඳහා වට්ටමල් ලබා දීම, Orange ආයතනය, ඉවත දැමූ කැඩී බිඳි නොගිය Tube Lights, CFL Bulbs මිලක් අය කර එකතු කිරීම)

ප්‍රතිචක්‍රීකරණය
විධිමත්ව විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන සමාගම් / ආයතන රැසක් තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියෙන් අනුමැතිය සහිත එවන් ආයතනයකට / පුද්ගලයෙකුට ඔබගේ ඉලෙක්ට්‍රොනික කසළ භාර දීම ඔබට සිදු කළ හැකි වෙනවා.
මෙම සමාගම් හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධ වී එසේ ඉලෙක්ට්‍රොනික කසළ එකතු කරන වැඩසටහනකුත් දැන් ආරම්භ කරල තිබෙනවා.



එසේ ඉලෙක්ට්‍රොනික කසළ එකතු කරන ආයතන වල විස්තර ලබා ගැනීමට පහත සබඳතා භාවිතා කරන්න.
දු. අං: 0112 - 872 402
ලිපිනය: අධ්‍යක්ෂක, අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය, මධ්‍යම පරිසර අධිකාරිය, 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
ඊ මේල්: weerasundara [at] cea [dot] lk


අවිධිමත් ලෙස ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම නවත්වමු. 
විද්‍යුත් අපද්‍රව්‍ය වලින් තොර සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරමු.
අප සැමගේ හා අප දූ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමු. 


Previous
Next Post »

11 comments

Write comments
November 10, 2015 at 8:14 AM delete

CEA එකෙන් මේ වෙනකොට විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කරන්න විධිමත් ක්‍රමවේදයක් නිර්මාණය කරල තියෙනවනම් ඒක බොහොම හොඳ වැඩක්. මීට වසර කීපයකට කලින් මම ලංකාවෙ ‍රැකියාව කරන කාලෙ අපේ office එකේ තිබුණු පරණ ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් ඉවත් කරන්න සිද්ධ වෙලා CEA එකට call කලහම ඒකේ වැඩ කරන අය කිසි කෙනෙකුට මේ අපද්‍රව්‍ය වලට කරන්න ඕනෙ මොකද්ද කියල හරිහමන් දැනුමක් තිබුණෙ නැහැ. දුරකථන සම්බන්ධතාවය කීප විටක්ම එක් අංශයකින් තවත් අංශයකට මාරු කර කර වෙලාව නාස්ති කලා. අන්තිමට එක්කෙනෙක් කිව්වා SINGER ආයතනයට බාරදෙන්න කියලා. ඊට පස්සෙ SINGER එකට කතා කලහම එයාල කියනවා ඒගොල්ලො තාම විද්‍යුත් අපද්‍රව්‍ය බාරගන්නෙ නැහැ කියලා. ආපහු CEA එකට කතා කරල බැලුවහම එයාල කිව්වෙ එහෙනම් එයාලට ගෙනත් දෙන්න, එයාල ඒවා පුච්චල දාන්නම් කියලා. ඔන්න ඕකයි මීට අවුරුදු කීපෙකට කලින් තිබුණු තත්වෙ. අන්තිමට බඩු ටික පරණ යකඩ එකතු කරන කෙනෙකුට දුන්නද කොහෙද.. හැබැයි මාධවගෙ විස්තරේට අනුව දැන් නම් ඒ අය ඊට වඩා ගොඩක් දියුණු වෙලා කියල පේනවා.

Reply
avatar
November 10, 2015 at 8:33 AM delete

ගොඩක් වටින ලිපියක්. මේක මුද්‍රණය කරල මිනිසුන් අතනේ බෙදන්න තරම් වටිනව ඇත්තටම. අයියේ පුලුවන් නම් පොඩි උත්සහයක් දාල මේ වගේ ලිපියක් පත්තරේකට දෙන්න. එතකොට තවත් ගොඩක් දෙනෙක් දැනුවත් වේවි. දිගටම මේ බ්ලොග් එක ලියන් යන්න. සුභ පතනව මම. ගොඩක් ස්තූතියි!

Reply
avatar
November 10, 2015 at 9:01 AM delete

පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය එකතු කරන විද්‍යුත් අපද්‍රව්‍ය වලට අන්තිමට මොකද වෙන්නේ? ප්‍රතිචක්‍රිකරණය වෙන කොටස ගැන පැහැදිලියි. ඒත් ප්‍රතිචක්‍රිකරණය කරන්න බැරි කොටසට වෙන්නෙ මොකක්ද කියන එක ගැන පැහැදිලි විස්තරයක් CEA එකෙන් ලබාගන්න පුලුවන්ද? දියුණු රටවල් නම් කරන්නෙ ඒ කුණු දුප්පත් රටවල් වලට ගිහින් දාල ඒ රටවල ආණ්ඩු වලට සල්ලි ගෙවන එක. ඒක හරියට අපේ වත්තෙ කුණු අල්ලපු වත්තට දානවා වගේ වැඩක්.

Reply
avatar
November 10, 2015 at 9:11 AM delete

ඔව්. දැනට සබඳතා තිබෙනවා. නමුත් තවම ඒ ගැන හිතුවෙ නෑ.
බොහොම ස්තුතියි මල්ලි අදහසට.

Reply
avatar
November 10, 2015 at 9:12 AM delete

ඔව්. දැන් ඔවුන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලත් ඉලෙක්ට්‍රොනික කසළ එකතු කරනවා. අනිද්ද පාදුක්කටත් එනව.

Reply
avatar
November 10, 2015 at 9:13 AM delete

මම ඒ ගැන ඇත්තෙන්ම හොයල බැලුවෙ නෑ. මම ඔය නොම්මරේට කතා කලේ නෑ. නමුත් ඊ මේල් එකක් යැව්ව වැඩි විස්තර ඉල්ලල නම්. උදිත කියන දේ ගැන සොයා බලන්නට වටිනවා. මම කතා කළොත් ඒ ගැනත් අහල බලන්නම්.
බොහොම ස්තුතියි අදහස් වලට.

Reply
avatar
November 11, 2015 at 10:23 AM delete

ලිපිය කියවද්දි තව ප්‍රශ්නයක් හිතට ආවා. PVC දහනය කරනකොට ඇත්තටම ඩයොක්සින් විශාල වශයෙන් නිදහස් වෙන්න පුළුවන්ද? PVC කියන්නෙ C, H සහ Cl වලින් සමන්විත ඇලිෆැටික සංයෝගයක් බහුඅවයවීකරණය වීමෙන් සෑදෙන්නක්. ඉතින් ඒක පූර්ණ දහනයකට ලක් කලහම හැදෙන්න ඕනෙ CO2, H2O සහ HCl. ඩයොක්සින් කියන්නෙ ඇරෝමැටික සංයෝගයක්. සාමාන්‍යයෙන් ඇරෝමැටික සංයෝගයක් පිළියෙළ කරන්න විශේෂ තත්ව අවශ්‍ය වෙනවා නේද..? ඉතින් PVC පූර්ණ දහනයෙන් ඩයොක්සින් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් නම් මට තියෙන්නෙ සැකයක්. පූර්ණ දහනයකදී ඩයොක්සින් බවට පත් වෙනවට වඩා ලේසියෙන් C, H සහ Cl වලට CO2, H2O සහ HCl බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඩයොක්සින් පොඩි ප්‍රමාණයක් හැදෙන්න නම් ඉඩ තියෙනවා. හැබැයි ඒ ප්‍රමාණය ක්ලෝරයිඩ අඩංගු ඕනෑම හයිඩ්‍රොකාබනයක් දහනය කිරීමේදි හැදෙන්න පුළුවන් ප්‍රමාණයට අඩු වැඩි වශයෙන් සමානයි කියලයි මම හිතන්නෙ.

Reply
avatar
November 11, 2015 at 10:59 AM delete

ඔව්. ඔබ කියන එක නිවැරදි වෙනවා PVC පූර්ණව දහනයක් සිදු වුවහොත්. නමුත් සාමාන්‍ය ගිනි ගැන්වීමකදී (ගෙදර කුණු ගොඩේ කරන්නා වගේ), PVC පූර්ණ දහනයකට ලක්වන්නේ කලාතුරකින්. ඉතින් ඩයොක්සීන් නිදහස් වීම සිදු වෙනවා. පූර්ණ දහනයක් සිදු කරන්න නම් අපි incineration වලට යන්න ඕනෙ. අදාල පාලිත තත්ව යටතේ දහනය කළ යුතු වෙනවා. නමුත් එහිදී පවා ඔබ කියනාකාරයට ඩයොක්සීන් සුළු ප්‍රමාණයක් පිට වනවා.
ක්ලෝරීන් තිබෙන හැම දෙයක්ම දහනයේදී ඩයොක්සීන් පිට වීමේ හැකියාවක් තිබෙනවා. ගහක කඳක් උනත් දහනයේදී ඩයොක්සීන් අතිශය සුළු ප්‍රමාණයක් නිකුත් වෙනවා.

Reply
avatar
Unknown
AUTHOR
September 21, 2023 at 7:25 AM delete

wadak ne onama karuna ne parasarayata balapanne kohomada kiyala ne

Reply
avatar
Unknown
AUTHOR
September 21, 2023 at 7:26 AM delete

hodayi wedak neththema ne habayi ara parasarayata balapanne kohomada kiyala danna wenama chedayak widiyata

Reply
avatar