මොකද්ද මේ "Sustainability" කියන්නෙ?

"Sustainability" කියන එකට ප්‍රවේශයක් මම ගන්නව මෙන්න මේ චීන කියමනින්. (ඉංග්‍රීසියෙන් තිබ්බ එක මම සිංහලට පරිවර්තනය කළා.)
"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."
පොඩ්ඩක් මේ ප්‍රකාශය ගැන කල්පනා කරන්නට ඔබට ආරාධනා කරනව. ඒකෙන් කියවෙන දෙය ඔබ තේරුම් ගත්තොත්, මොකද්ද මේ "sustainability" කියන්නෙ කියල ඔබට යම් අදහසක් ලැබෙනවා.


හරි.
මේ ඉහතින් තිබෙන රූපය බලන්න. මොකද්ද ඔබට පෙනෙන්නෙ?
අපි යන්නෙ කොයිබටද කියල නේද? 
මේ ලෝකය දැන් යන්නෙ ටික ටික විනාශයකට නේද??? 

අපි මේ ලෝකයේ තිබෙන සියළුම ආකාරයේ සම්පත් ඉතා සීග්‍රයෙන් භාවිතාවට ගනිමින් සිටිනවා. අපි මේ ලෝකය ඉතා සීග්‍රයෙන් දූෂණය කරමින් සිටිනව. අපි මේ ලෝකය ටික ටික ජීවත් වීමට නොහැකි තත්වයට පත් කරමින් සිටිනවා.
ඔබ පිළිගන්නවාද?

එතකොට මොකද්ද sustainability කියන්නෙ?
ඒකට හුඟක් බරපතල definition එකක් තියෙනව. නමුත් මම සරළවම කියන්නම්.

Sustainability කියන්නෙ අර මම උඩම කිව්ව ප්‍රකාශය ආරක්ෂා වන පරිදි වර්තමානයේදී ක්‍රියා කිරීමයි.

ඒ කිව්වෙ?

"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."

ඒ කියන්නෙ,
අපි අද ලෝකයේ තිබෙන පහසුකම් හා සම්පත්, අනාගත පරපුර වෙනුවෙනුත් ආරක්ෂා කරමින් භාවිතා කළ යුතුයි කියන එකයි. 
වර්තමානයේ ජීවත්වන්නන් වඩා හොඳ ජීවන තත්වයක් ගත කරමින් හා අනාගත පරපුරටත් හොඳ ජීවන තත්වයක් ලබා ගැනීමට හැකි පරිදි ලෝකයේ තිබෙන සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම "Sustainability" වශයෙන් අර්ථ දක්වන්න පුළුවන්. 

මොකද අතිශය සීග්‍රයෙන් හා කිසිදු පාලනයකින් තොරව ලෝකයේ තිබෙන සම්පත් විනාශ කරමින් අවභාවිතා කළොත් අනාගත පරපුරට මොකද වෙන්නෙ???

ඔවුන්ට ජීවත් වෙන්න කිසිදු සම්පතක් ඉතිරි නොවෙනවා ඇති. 

අපි එහෙම කළොත් ඔවුන් කාටද බනින්නෙ? ඔබට හා මට නේද?

"අපේ මුතුන්මිත්තන්ට බැරි උනා තමන්ගෙ දරු මුණුබුරන්ට ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ ලෝකයක් ඉතිරි කරන්න. ඔවුන් කිසිම අරපිරිමැස්මක් රහිත කිසිදු උවමනාවක් තිබුනෙ නැති තමන් ගැන පමණක් කල්පනා කළ ආත්මාර්ථකාමී පිරිසක් නේද..." 
කියල ඔවුන් අනාගතයේදී කියන එකක් නැද්ද???

අපගේ පසු පරම්පරාවන්ට ජීවත් වන්නට ලෝකයක් අපි ඉතිරි නොකළ යුතුද???

ඔබට සිතන්නට යමක් හා කියන්නට යමක් ඉතිරි කරමින් මම මෙතනින් නවතිනවා.

සාකච්ඡාවට විවෘතයි. 


Previous
Next Post »